පාරක, කෝච්චියක හෝ බස් රථයක තම හැකියාව පෙන්වා කාසි කිහිපයක් එකතු කරගෙන පවුලක් පවා නඩත්තු කරමින් ජීවිතය ගැට ගසා ගන්නා ඒ සුන්දර මිනිසුන් කෙරෙහි කුඩාවියේ සිටම මට ඇත්තේ අසීමිත සෙනහසක් හා ගෞරවයකි. වීදි කුල්මත් කරන්නන්(street performers) ලෙස හදුන්වන ඔවුන් මම පාරකදී හෝ බසයක දුටුවිට නැවතී ඒව රසවිද මා අත තිබෙන රුපියල් කීයක් හෝ ඔවුන් අත තබා මගේ සෙනෙහස පෑමට අමතක නොකරමි.
ඔවුන් සින්දුවක් කියනවා විය හැක, බටනලා වාදනයක් කරනවා විය හැක, මැජික් එකක් පෙන්නනවා විය හැක, කඩදාසි මෝස්තරයක් කර පෙන්නනවා විය හැක, රබන් පදයකට කවියක් කියනවා විය හැක, කොටින්ම ඔවුන් දන්නා ඕනෑම මගුලක් කර පෙන්වනවා විය හැක; මට එය ප්‍රශ්නයක් නොවේ. ඔවුන්ගේ ඉදිරිපත් කිරීම හොඳද නරකද යන්නත් මට ප්‍රශ්නයක් නොවේ. ඔවුන් තම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන ජිවිතය ජය ගැනීමට දරන ප්‍රයත්නය අගය කරමි.