Tuesday, October 15, 2013

බුලත් ගැන සියල්ල | All about the Betel

කාලෙකින් මංතලාවට අලුත් ලිපියක් එක් කිරීමට නොහැකි වූයේ වැඩ අධික වීම නිසාවෙනි. පසුගිය දිනයකදී එනම් ඔක්තෝබර් 6 වැනි දිනට ලෝක ගුරු දිනය යෙදී තිබිනි. දිවයිනේ සියලු පාසල් වල පාහේ ගුරුවරුන්ට උපහාර දැක්වීමට උත්සව සූදානම් කර තිබිනි. අප පාසලේද(මංතලාව ලියන මම ගණිත ගුරුවරයෙක්මි) ඉතා අනර්ග ගුරු උපහාර උළෙලක් දරුවන් විසින් සංවිධානය කොට තිබිනි. උදෑසනම සියලුම දරුවන් පාහේ ගුරුවරුන් හට බුලත් අතක් දී වැඳ ගෞරව දක්වන ලදී. ඉතින් දරුවන් අත තිබූ බුලත් අත් දුටු මා, මෙතෙක් මංතලාවේ බුලත් නොතිබූ අඩුව මෙසේ පුරවමි.

පිළිගන්වන විට බුලත් අත, කටේදී බුලත් විට, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලය, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය, දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී.

සිංහලයා අතර බුලත දෙවැනි වන්නේ බතට පමනි. ලාංකික ජීවන රටාවේ මිනිසාගේ උපතේ සිට විපත දක්වා සිදුවන ආගමික හෝ වේවා සංස්කෘතික හෝ වේවා සියලුම සිරිත් විරිත් වලට බුලත නම් නැතිවම බැරිය.

දෙහි කැපීමේදී බුලතේ උපත පිළිබඳ මෙසේ කියැවේ

මල් පිපුනා දැක මහබඹු              සන්තොසිනා
පුල්මතිනා දෙවියෝ ගුවනින්                වඩිනා
මුල් බැඳුනා නා උයනේ දළු                ගැනුනා
වැල් උපනා දළු මුර පවසමි               හොඳිනා

නා ලොව උයනේ එම පැල පැලවී    තොසිනා
පුරුක් ඇදී මුල් මතු වී කොළ දී            හැදුනා
නා ලොව භුපතියන නම කඳට ඇති        වුනා
නාගවල්ලි කියන නමින් එවැල පැළ       වුනා

නා ලොව හට ගත් බුලත මිනිස් ලොවට ආ හැටි 

මහා සම්මත රජුගේ මැණික්පාලි බිසවට ඇති වූ දොළදුකක් නිසා එය සංසිඳවීමට නා රජු විසින් බුලත මිනිස් ලොවට ගෙන එන ලදී. නා රජු බුලත් කොළය දෙකොනින් අල්ලා ගෙන පැමිනි නිසා, විෂ නැති කිරීමට බුලත් කොළයේ දෙකොන කඩා කෑමට ගන්නා ලදී. අදටත් බුලත් විට කෑමට පෙර දෙකොන කඩා කෑමට මිනිසුන් අමතක නොකරයි. 
පුරාවෘත්තය එසේ වුවත් දෙකොන කඩා දැමීමෙන් කොළයේ රැඳී ඇති අපවිත්‍ර දෑ ඉවත් වෙයි.

ඈත ඉතිහාසයේ බුලත් පිලිගැන්වූ අවස්ථා

  • සත් සතිය අවසානයේදී මහා බ්‍රහ්මයා පැමිණ බුදුරජාණන් වහන්සේට දැහැත් පිළිගන්වා ඇතැයි මහායාන පොත් වල විස්තර කෙරෙයි.
  • අතීතයේ ලංකාවේ ජිවත් වූ නාග ගෝත්‍රිකයන් අතර මැණික් පුටුවක් අරඹයා ඇති වූ ගැටුමක් විසඳීමට බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩම කල විට දැහැත් පිළිගන්වා ඇත.
සමාව ගෙන, තෑගි බෝග පිරිනමා අවසන් කළ නොහැකි තරහක්/වෛරයක්, බුලත් අතක් පිරිනමා අවසන් කර ගත හැක. බුලතේ අපට නොවැටහෙන සංස්කෘතික අගයක් තිබේ යැයි කියන්නේ ඒ නිසාය. රජ ඇමති, ගුරු දෙගුරු, වැඩිහිටියන්ට පිළිගැන්වීමට තරම් බුලත වැදගත් වන්නේද ඒ නිසාය.


සිංහලයා බුලත් කෑමට රැසියාය. අද ද ගමකින් බුලත් නොකන මිනිසෙකු සොයා ගැනීම අපහසුය. "බුලත් නොකෑ කට කිරි වවුලාගේ" යනුවෙන් පැරැන්නන් පැවසුවේ ඒ නිසාය. තවද පෘතුග්‍රීසින් සිංහලයෝ හැඳින්වූයේ "කොළ සපා කා රතු ලේ වමාරන" පිරිසක් ලෙසය. කාරණා එසේ වුවත් "ගිලී මලෙත් ඇත දත සුද්දෝ" යනුවෙන් ද කියමනක් ඇත.

සිංහලුන් අතර පමනක් නොව, ලෝකයේ බොහෝ රටවල් අතර බුලත් ඉතා ජනප්‍රිය කෑමකි. මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන බුලත් වල ප්‍රධාන ගැනුම්කරුවා පකිස්ථානය වේ.

බුලත් කෑමෙන් වා, පිත්, සෙම යන තුන් දොස් සමනය කරන බව අයුර්වේදයේ සඳහන් වන අතර, හුනු දුම්කොළ වැඩියෙන් බුලත් විටට එක් කිරීමෙන් සහ හපය බොහෝ වේලා කටහි තබා ගැනීම මුඛ පිළිකා සඳහා අත වැනීමකි.

තවත් මෙවැනිම වටිනා වැදගත් ලිපියකින් හමුවෙමු. ජය වෙවා!



Like the Post? Do share with your Friends.

9 comments:

  1. Lamaynge bulath atha dan bulath kola deka thunakata seemawi ethi bawada kiwa yuthumaya. ;-)

    ReplyDelete
    Replies
    1. Btw oba thora gath mema margayada athishayn sarthaka wewa!!!

      Delete
    2. aniwa Anon.. එක බුලත් කොලයක් පමනක් දුන් ළමුන් ද සිටියා. නමුත් අපේ පාසලේ හැටියට බුලත් අතක්ම බලපොරොත්තු වීම අසාධරණයි කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ පරිසරයේ හැටියට බුලත් වැලක් නම් බෙහෙතකට වත් හොයා ගෙනිමට අපහසුයි. අනික එදා වේල සොයාගෙන ජිවත් වෙන පරිසරයකුයි ඒක. ඉතින් කඩෙන් බුලත් අතක් ගැනීමට ද අපහසුයි. කොහොම නමුත් අපි කරන්න ඕනි බුලත් අත මෙහෙමයි පිලිගන්වන්නෙ, බුලත් අතේ කොළ කොපමනක් තියෙන්න ඕනි ද වගෙ දැනුම ඔවුන් ට දීමයි... කෙසේ නමුත් නිවසේ පහසුවෙන් සොයා ගත හැකි ද්‍රව්‍ය(අපතේ යන දෑ) භාවිතා කර ලස්සන නිර්මාණ ළමුන් බොහොමයක් දෙනා සාදා දී තිබුනා. ඒවා නම් අමිල ත්‍යාග ලෙස හඳුන්වන්න පුලුවනි...

      Delete
    3. Aniwa aniwa. Bulath kola dekak ussan ewith hinawela wandiddi hena adare hithenawa.

      Delete
  2. nice.... But waiting for ග්‍රිගොරි රස්පියුටින් හෙවත් පිස්සු පූජකයා(2 කොටස) ...

    ReplyDelete
    Replies
    1. දයාබර IT PATH FINDER... ගොඩක් ස්තූතියි! රස්පියුටන්ගේ 2 වන කොටස පල කිරීමට සිදුවූ/සිදුවෙමින් පවතින ප්‍රමාදය පිළිබඳ දහස් වාරයක් සමාව ඉල්ලමි.. නමුත් මෙම සතිය අවසන් වීමට මත්තෙන් ලියා පල කරන බවට දිවුරා පොරොන්දු වෙමි. මංතලාවේ සක්මන් කිරීම පිළිබඳව නැවත වරක් ස්තූතිවන්ත වෙමි!

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments