මේ කතාවට මුල පිරුණේ මෙසේය...
දිනක් නිවාඩු පාඩුවේ දුම්රියේ ගමන් කරමින් සිටියදී වීදි කුල්මත් කරන්නෙක් මා ගමන් ගත් දුම්රිය පෙට්ටියට නැංගේය.
(වීදි කුල්මත් කරන්නන් ලෙස මා හඳුනන්නේ, තමාගේ හැකියාවක් ප්‍රදර්ශනය කර තමාගේ ජීවිකාව ගෙන යන සුන්දර මිනිසුන්ටය. ඔවුන් පිළිබඳව මා පෙර තැබූ සටහන මෙම ලින්ක් එකට ගොස් බලන්න. www.manthalawa.blogspot.com/2013/09/street-performers.html)
නැවතත් කතාවට;
ඉතින් ඒ වීදි කුල්මත් කරන්නා වෙනස් ආකාරයකට තමාගේ දක්ෂතාවය පෙන්නවන්නෙකි. ඔහු චිත්‍ර ශිල්පියෙකි. ඔහු චිත්‍ර අඳින්නේ දුම්රිය පෙට්ටියේ බිමය. පහත දැක්වෙන්නේ ඔහු අඳි අකුරකි.
කෙසේ නමුත් ඔහුට මුදල් දීමට බොහෝ දෙනා මැලි බවක් දැක්වුහ. ඒ ඔහු ඇඳි චිත්‍රය බොහෝ දෙනා නොදුටු නිසා විය හැක. නැතහොත් ඔහු චිත්‍රය ඉතා ඉක්මනින් එනම් මිනිත්තු කිහිපයක් ඇතුලත ක්ෂණිකව අඳි නිසා විය හැක. එහිදී නරඹන්නන් ග්‍රහණය කර ගැනීමට ඔහු අපොහොසත් වුවා විය හැක. මා අත තිබු රු.10 කාසිය ඔහු හට කැමැත්තෙන්ම ප්‍රදානය කලෙමි. ඇත්තෙන්ම ඔහු එකතු කරගත් එකම මුදල එම රු.10 විය.
දුම්රිය තවත් දුම්රිය ස්ථාන කිහිපයක් ඉදිරියට ඇදෙන්නට විය. බැස යන හා දුම්රියට ගොඩ වන මගීන් චිත්‍රය සහිත බිම පාගා ගෙන යන අයුරු මා දොම්නස මුසු දෙනෙතෙන් බලා සිටියෙමි.
පුදුමයකට මෙන් ඊළඟ නැවතුමෙන් තවත් වීදි කුල්මත් කරන්නෙක් දුම්රියට ගොඩ විය.
ඔහු තබ්ලාවක් ගසමින් සින්දු කියනා තරමක් වයෝවෘද මිනිසෙකි.
ඔහුට කිසි කලබලයක් තිබුනේ නැත. තබ්ලාව එළියට ගත් ඔහු, ගෙනා බෑගය තම අසුන කර ගත්තේය. හිමින් සීරුවේ තබ්ලාව සුසර(tune) කරගන්නා ලදී. අනතුරුව තබ්ලාවට වැඳ මොහිදීන් බෙග් මහතාගේ ගීයක් කියන්නට පටන් ගත්තේය. ඉන්පසු ජෝතිපාල මහතාගේ ගී 2ක් පමණ කීවේය. මා ඇත්තටම සිතුවේ ගී 3ක් කියා ඔහුගේ ඉදිරිපත් කිරීම නවතයි කියාය. ඔහුට ගානක් නැත, එකක් ඉවර වෙන්න එකක් ඔහු ගයයි. නුගේගොඩ සිට මරදාන දක්වා මිනිත්තු 30ක පමණ දුරකදී ඔහු ගී 10ක් පමණ කියන්නට ඇත. මේ වන විට මා ඇතුළු මගීන් සියලු දෙනා පාහේ ඔහුගේ සංගීතයෙන් මුසපත් වී සිටියෝය. සියලු දෙනා පාහේ රු.20කින් රු.50කින් ඔහුට ආධාර කරන්නට ඇත. ඔහුට ආධාර වශයෙන් රු.1000කට වැඩි මුදලක් ලැබෙන්නට ඇත.
හොඳයි මෙය කව්රුත් නොදකින්නට ඇත, නමුත් මම දුටුවෙමි. එක් පුද්ගලයෙක් ඔහුට රු.10කින් ආධාර කරනවා මම දුටුවෙමි. ඒ අර චිත්‍ර ශිල්පියා ය. ඒ රු.10ත් නිකම්ම රු.10ක් නොව මා විසින් ඔහුට දුන්, එනම් ඔහුට එකතු කර ගන්නට හැකි වූ එකම මුදලයි.
පුදුමයි! මගේ සිතට සිතුවිලි දසදහසක් ගලා එන්නට විය. ඔබටත් සිතන්නට ඉඩ දී මම එදින විස්තරය මෙතනින් නවත්තමි. දුක නම් ඒවා පටිගත කර ගැනීමට මගේ දුරකථනයේ බැටරි ප්‍රමාණවත් නොවීමයි.
කෝ එතකොට කඩු ගිලින්නා? ඔහු මට හමුවෙන්නේ ඉන් හරියටම සතියකට පසුවය.
පෙර දින හමුවූ සංගීතකරු හෝ චිත්‍ර ශිල්පියා හමුවීමේ බලාපොරොත්තු ඇතුව නැවතත් එම වෙලාවට හා එම දුම්රිය පෙට්ටියටම නැග්ගෙමි. ඔවුන් දෙදෙනා හමු නොවුවත් කඩු ගිලින්නා හමු විය. මට හැකි උපරිම අයුරින් ඔහුගේ දක්ෂතාව අගය කලෙමි. පහත විඩියෝව නරඹන මෙන් ආදරයෙන් ඇරයුම් කරමි.
ඒ සුපිරි කඩු ගිලින්නා කියූ කරුණක් සඳහන් කරමින් මා අදට මෙතනින් නවතිමි.
"මිනිසෙක්ගේ ඇඳුමට මිනිසෙක් තෝරා ගන්න එපා, ගතිගුණ හොඳ නම් මනුස්සයෙක් තෝරා ගන්න..."
ස්තුතියි...
ඔබ සැමට ජය!
Though that street performer and my model of the greatest person never met again, i as the third person who saw everything happened between them, met that street performer again in a bus.... recalled me the golden past of my life!!! Thats how life is....!!!!
ReplyDeleteThanks buddy. You are awesome
Delete