කාලෙකින් මංතලාවට අලුත් ලිපියක් එක් කිරීමට නොහැකි වූයේ වැඩ අධික වීම නිසාවෙනි. පසුගිය දිනයකදී එනම් ඔක්තෝබර් 6 වැනි දිනට ලෝක ගුරු දිනය යෙදී තිබිනි. දිවයිනේ සියලු පාසල් වල පාහේ ගුරුවරුන්ට උපහාර දැක්වීමට උත්සව සූදානම් කර තිබිනි. අප පාසලේද(මංතලාව ලියන මම ගණිත ගුරුවරයෙක්මි) ඉතා අනර්ග ගුරු උපහාර උළෙලක් දරුවන් විසින් සංවිධානය කොට තිබිනි. උදෑසනම සියලුම දරුවන් පාහේ ගුරුවරුන් හට බුලත් අතක් දී වැඳ ගෞරව දක්වන ලදී. ඉතින් දරුවන් අත තිබූ බුලත් අත් දුටු මා, මෙතෙක් මංතලාවේ බුලත් නොතිබූ අඩුව මෙසේ පුරවමි.
පිළිගන්වන විට බුලත් අත, කටේදී බුලත් විට, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලය, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය, දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී.
